Online News

Gossip Lanka News Official

බොලිවුඩ් නිළියන්ට සුපිරි මෝටර් රථ බෙදූ සුකේෂ්

බොලිවුඩ් සිනමාවේ සිහින කුමාරයන් වන සල්මාන් ඛාන්ලාට, ශාරුක් ඛාන්ලාට තියා විරාත් කෝලිලාටත් ලෙහෙසියෙන් කිට්ටු විය නොහැකි සුරූපි නිළියන් බුරුතු පිටින් වසඟයට ගැනීම ඔහුට නම් කජු කනවා වගේ වැඩකි. නිළියන් පමණක් නොව කටේ දිවේ නොගෑවී කෙප්ප කෙළිමින් නොම්මර එකේ ධනවතුන් හා දේශපාලකයන් මුළා කිරීමටත් ඔහු තරම් ජගතකු මුළු ඉන්දියාවේ ම නැත. මේ මායාකාරයාගේ ඉච්ඡා බසට රැවටී ඔහු වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් දන් දුන් ධනවතුන්ගෙන්ද ඉන්දියාවේ අඩුවක් නැත. මේ කියන්නේ අන් කිසිවකු හෝ ගැන නොව ශ්‍රී ලංකාවේ උපන් බොලිවුඩ් සුපිරි නිළි ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඉන්දීය රුපියල් කෝටි 215ක ආන්දෝලනාත්මක මුදල් වංචාවට පටලවා ගත් සුකේෂ් චන්ද්‍රසේකර් ගැනය. එසේත් නැතිනම් රුපියල් කෝටි ගණන් වටිනා අතිසුඛෝපභෝගී මෝටර් රථ බෙදා දී බොලිවුඩයේ නිළියන් සිය මායා දැලේ පටලවා ගත් ඉන්දියාවේ රස්පුටින් ගැනය. දීර්ඝ කාලයක් තිස්සේ මිනිසුන් රවටා කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ගත් ඔහුගේ වයස අවුරුදු 32කට වැඩි නොවූවත්, ඔහුට එරෙහිව ඇති මූල්‍ය වංචා චෝදනා නම් වයසටත් වඩා වැඩිය. බැංගලෝරුවේ දුප්පත් පවුලක ඉපදුණු මේ අරුම පුදුම විජ්ජාකාරයා මිනිසුන් මුළා කර කඩා වඩා ගත් මුදලෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටියේ අවුරුදු 17 සිටය. තම සිත් ගත් නිළියන් හා අනියම් ඇසුරක් පැවැත්වීමේ අරමුණින් රුපියල් කෝටි ගණන් වටිනා මෝටර් රථ බෙදන්නටත්, සිතේ හැටියට සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්නටත් ඔහු වියදම් කළේ තනිකරම අනුන්ගෙන් කඩා වඩා ගත් මුදල්ය. කෙටි කාලයකදී බිලියන ගණනාවක මුදල් කන්දරාවක් උපයා ගැනීම නම් මුකේෂ් අම්බානිටත් අමාරු වැඩකි. එහෙත් සත පහක වියදමකින් තොරව රුපියල් කෝටි ගණනක් උපයා ගැනීමට ඔහුට නම් ඒ හැටි කාලයක් අවශ්‍ය නැත. ඒ සඳහා වැයවන්නේ ඔහුටම ආවේණික සිල්ලර වචන කට්ටලයක් පමණි.

පසුගිය වසරේ අවසන් භාගයේ හෙළිදරව් වූ සුකේෂ්ගේ කෝටි දෙසීයේ කප්පම් නඩුවත්, ජැකලින්ගේ හුටපටයත් අද වෙද්දී ඉන්දියාවේ සියලු මාධ්‍ය පට්ට ගසා හමාරය. ඕපාදූප වෙබ් අඩවිවලට පමණක් නොව ඉන්ඩියා ටුඩේ ඇතුළු එරට වැඩියෙන්ම අලෙවි වන පුවත්පත්වල පවා මේ දිනවල ජනප්‍රියම මාතෘකාව බවට පත් වූයේ ද සුකේෂ් චන්ද්‍රසේකර් බොලිවුඩ් නිළියන්ට කාර් බෙදූ පළහිලව්වය. සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කප්පම් නඩුවට එතරම් ප්‍රසිද්ධියක් අත් වූයේ ඊට ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඇතුළු බොලිවුඩයේ නමගිය නිළියන් සම්බන්ධ වීම නිසාය. මේ ගැන අනාවරණය වූ කතාවලින් පත්තර පිටු පිරී ගියේය. එවැනි තොරතුරු පළවන පුවත්පත් අලෙවි වන්නට වූයේ උණු කැවුම් මෙනි. පාඨකයන් ඒවා කියවන්නට වූයේ නළල් තල රැලිගන්වා ගෙනය. ඇස් ගෙඩි උඩ තියාගෙනය. ලියුම්කරු මේ උත්සාහ කරන්නේ දවසින් දවස විමතියත්, කුතුහලයත් දනවන විස්මිත කතා මවන සංවිධානාත්මක මූල්‍ය අපරාධකරු සුකේෂ් චන්ද්‍රසේකර්ගේ පැටිකිරිය හාරා ඇවිස්සීමටය. ඉන්දියාවේ විශාලතම කප්පම් නඩුව ලෙස සැලකෙන රුපියල් කෝටි 215ක සිදුවීමේ ප්‍රධාන චූදිතයා වන සුකේෂ් මේ වන විට සිටින්නේ නවදිල්ලි නුවර මන්ඩොලි බන්ධනාගාරයේය. ඔහුට එරෙහිව ගොනු කර ඇති තවමත් අවසන් නොවූ නඩු එමටය. ඉන්දියාවේ මූල්‍ය බුද්ධි අංශය කියන්නේ ඔහු අන්තිම භයානක මුදල් වංචාකාරයකු බවය. මේ සටකපට මුදල් වංචා ජාලයේ ඔහු තරම් කෙළ පැමිණි අයකු එරට මූල්‍ය අංශයට මෑත ඉතිහාසයේ හසු වී නැත. එය ‍ෙකාතරම්ද යත් සුකේෂ්ගේ හැසිරීමට හා කතාබහට මුදල් අපරාධ පරීක්ෂණ කටයුතු කළ බුද්ධි අංශයේ නිලධාරීන්ගේ පවා සිත් ඇදී ගිය බැව් කියැවේ.

මදුරෙයි පාසලක 12 වැනි පන්තිය දක්වා ඉගෙනුම ලැබූ සුකේෂ්ට ඉන් එහාට අධ්‍යාපනයට සිතක් තිබුණේම නැත. අවුරුදු 17දී පාසල් අධ්‍යාපනයට සමුදුන් හෙතෙම පසුගියදා සිරගත වනතුරුම කළේ මුදල් වංචා ක්‍රියාන්විත පමණි. මුල් කාලීනව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ චරිත වෙස්ගෙන දුරකතනය ඔස්සේ මිනිසුන් රවටා මුදල් කඩා වඩා ගත් හෙතෙම කාලයක් යද්දී ඉන්දියාවේ කෝටි ප්‍රකෝටිපතියන් අල්ලේ නටවන්නට තරම් සමත්ව සිටියේය. ඔහු බැංග්ලෝර් සංවර්ධන අධිකාරියෙන් අවශ්‍යතා ඉටු කර දීමේ මුවාවෙන් පුද්ගලයන් සිය ගණනක් රවටා මුදල් උපයා ඇත්තේ අවුරුදු 18 සම්පූර්ණ වීමටත් පෙරය. ඔහු එය සිදු කළේ දේපළ අලෙවි ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් බව ඉන්ඩියා ටුඩේ පුවත්පත සඳහන් කළේය. එවැනි වංචාවක් ගැස්සී යෑමෙන් පළමුවරට ඔහු පොලිසියට කොටුවී ඇත්තේ ද ඒ කාලයේදීමය. යොවුන් වියේ සිටම ඔහුගේ එකම සිහිනය බවට පත් වී ඇත්තේ හොඳින් හෝ නරකින් කෝටිපතියකු වීමටය. වරින් වර පොලිසියට කොටුවූවද, යළි යළිත් නිදහස ලැබීමෙන් පසු ඔහු සිය සුපුරුදු රාජකාරියට බැස්සේ වෙනදාටත් වඩා හොඳින් සන්නද්ධ වෙමිනි. ඒ කාලය ඇතුළත ඔහුට එරෙහිව බැංගලෝර්, චෙන්නායි, කොයිම්බතූර්, දිල්ලිය සහ මුම්බායි නගරවල මූල්‍ය වංචා නඩු දුසිම් ගණන් ගොඩ ගැසී තිබිණි. අවස්ථා ගණනාවකදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරිනු ලැබූ සුකේෂ් ඒ සෑම අවස්ථාවකදීම නැවත නැවත මූල්‍ය අපරාධවලට සම්බන්ධ වීමෙන් පැහැදිලි වන්නේ ඔහු තනිකරම ඉන්දියාවේ නීතිය සෙල්ලමකට ගෙන ඇති බවකි. ඒ වෙද්දී තමිල්නාඩුවේ ප්‍රකට දේශපාලනඥයන් සහ කෝටිපතියන් මුළා කරමින් ඔහු විසින් උපයා ගත් මුදල රුපියල් කෝටි 30කට වඩා අධික බව සඳහන් විය.

සුකේෂ් චන්ද්‍රසේකර් හෙවත් බාලාජි හෙවත් සේකර්, රත්න වේලා ඇතුළු නම් රැසකින් පෙනී සිටි ඔහු විටෙක තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලනඥයකුගේ ඥාති පුත්‍රයෙකි. තවත් විටෙක ඩීඑම්කේ පක්ෂයේ නායක එම්. කරුණානිධිගේ මුනුබුරෙකි. ඔහු මධ්‍යම පළාත් අමාත්‍ය ටී. ආර්. බාලුගේ පුත්‍රයකු ලෙසත්, ආන්ද්‍ර ප්‍රාන්තයේ මහ ඇමැති වයි. එස් රාජශේකර් රෙඩ්ඩිගේ බෑණා ලෙසත් පෙනී සිටි අවස්ථාවන් ද තිබිණි. එක් අවස්ථාවක ඔහු කර්ණාටක ප්‍රාන්තයේ මහ ඇමැති බීඑස් යෙඩියුරප්පාගේ ලේකම්වරයා ලෙස පෙනී සිටිමින් එම ප්‍රාන්තයේ කෝටිපතියන් නැත්තටම නැති කළේය. සන් ටීවී රූපවාහිනි සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටිමින් සිය මූල්‍ය වංචාවේ වපසරිය තවත් පුළුල් කරගත් සුකේෂ් පසුකාලීනව ජැකලින් ෆර්ඩිනැන්ඩස් අන්දවා ඇත්තේ ජයලලිතාගේ බෑණනුවන් ලෙස පෙනී සිටිමින් බව ඇතැම් වාර්තාවලින් කියැවිණි.

තමිල්නාඩුවෙන් කෝටි 50ක්. 2017 වසරේදී තමිල්නාඩුවේ ආන්දෝලනාත්මක නඩුවක් බවට පත් වූ ඡන්ද ලකුණක් වෙනස් කිරීමට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ අල්ලස් වශයෙන් දීමට උත්සාහ කිරීමේ සිදුවීමේ අතරමැදියා අන් කිසිවකු හෝ නොව මේ කියන පුද්ගලයාමය. ජයලලිතාගේ මරණයෙන් පසු දෙකඩ වූ ‘ඕල් ඉන්ඩියා අන්නා මුන්නේට්‍ර කලහම්‘ පක්ෂයේ ජය සංකේතය බවට පත්ව තිබූ දෙමුහුන් ශාක පත්‍ර මැතිවරණ ලකුණ එම පක්ෂයෙන් කැඩී ගිය ශසිකලාගේ ‘අම්මා මක්කල් මුන්නේට්‍ර කලහම්‘ පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඇගේ ඥාති පුත්‍රයා ටී. වී. දිනකරන්ට තදබල අවශ්‍යතාවක් ඇති වී තිබිණි. ඒ පුවත සැලවූ සුකේෂ් ඔහුට ද සිය මායා දැල එලුවේය. ඒ වන විට තිස් හැවිරිදි වියේ පසු වූ සුකේෂ් ඔහුට කිට්ටු වූයේ මැතිවරණ කොමිසමේ නිලධාරින් සමඟ සමීප ඇසුරක් ඇති බව හඟවමිනි. ඔහු කෙතරම් සූක්ෂම ලෙස ඔහු රැවටුවේද යත් පළමු හමුවෙන්ම වැඩේ තීන්දු කළ දිනකරන් ඔහුට කෝටි 50ක් එසැණින් දුන්නේය. අන්තිමේදී දිනකරන්ට කෝටි 50ත් අහිමි වූවා මදිවට සිරබත් කෑමට ද සිදුවිය. මැතිවරණ කොමිසමේ නිලධාරින්ට අල්ලස් වශයෙන් දීමට සූදානම් කළ රුපියල් කෝටි 5ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ සමග සුකේෂ් ද අවසානයේදී අත්අඩංගුවට පත් විය. එහෙත් ඔහු කොටු කරගැනීමට විමර්ශන නිලධාරීන්ට සති ගණන් රස්තියාදු වීමට සිදුවී තිබිණි. එසේ වූයේ සුකේෂ්ගේ මායා දැලේ පැටලුණු පොලිස් නිලධාරීන් පිරිසක් ඔහුට ඔත්තු සැපයීම නිසාය. මේ කාරණාවට උප පොලිස් පරීක්ෂකයකු ඇතුළු නිලධාරීන් 7 දෙනෙක් පසුව අත්අඩංගුවට ගෙන තිබිණි. සුකේෂ්ට පමණක් නොව අම්මා මක්කල් මුන්නේට්‍ර කලහම් පක්ෂයේ මහ ලේකම් ටී. වී. දිනකරන්ට අවසානයේ සිරබත් කෑමට සිදු විය. සුකේෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ නිවෙස පරීක්ෂා කළ විමර්ශකයන් බෙන්ට්ලි සහ ජගුවර් වර්ගයේ මෝටර් රථ දෙකක් සහ මිල අධික අත්ඔරලෝසු කිහිපයක් ද සොයා ගත්තේය. සුකේෂ් චන්ද්‍රසේකර්ගේ තරම මුළු තමිල්නාඩුවම දැනගත්තේ එදාය.

මහා කප්පම් නඩුවේ සුලමුල, වසර 2020 ජූනි මාසයේ 15 වැනිදා උදෑසන අදිති සිංට දුරකතන ඇමතුමක් ලැබිණි. අදිති සිං යනු ඒ වන විට සාවද්‍ය මුදල් පරිහරණය කිරීමක් සම්බන්ධව බන්ධනාගාරගතව සිටි කෝටිපති ශිවන්දර් මොහාන් සිංගේ බිරිය ය. රිලිගෙයාර් ෆින්වෙස්ට් සමාගමේ ෆෝටිස් ඖෂධ වෙළෙඳ සන්නාමය ප්‍රවර්ධනය කිරීම බාරව සිටි ශිවන්දර් සිං එම සමාගමේ රුපියල් කෝටි 2,397ක මුදලක් අවභාවිත කළ බවට චෝදනා ලබා 2019 ඔක්තෝබරයේ සිට සිර දඬුවම් විඳිමින් සිටියේද සුකේෂ් රඳවා තැබූ තිහාර් බන්ධනාගාරයේම ය. අදිති සිංට දුරකතන ඇමතුම දෙනු ලැබුවේ කාන්තාවක විසිනි. ඇමතුමට ප්‍රතිචාර දැක්වූ විගසම වෙනත් පුද්ගලයකු ඊට සම්බන්ධ විය. ඔහු තමා හඳුන්වා දුන්නේ අනූප් කුමාර් නමැති නීති කටයුතු ලේකම්වරයකු ලෙසිනි. ඔහු කියා සිටියේ ඇගේ සැමියාට සහාය වන ලෙස ඉහළම අධිකාරියකින් ඔහුට නියෝග ලැබුණු බවය. කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඖෂධ සම්බන්ධව ප්‍රවීණයකු වන ඇගේ සැමියාගේ සහාය ලබා ගැනීම ඉන්දීය රජයේ අවශ්‍යතාව වී ඇති බවත්, ඒ සඳහා ඇගේ සැමියා නිදහස් කිරීමට කටයුතු සැලසිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදිති සිංට දැනුම් දුන්නේය. එපමණක් නොව අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය අමිත් සිං එම දුරකතන ඇමතුම අසා සිටින බැවින් ආචාරසම්පන්නව පිළිතුරු දෙන ලෙසත් ඔහු වැඩිදුරටත් ඇගෙන් ඉල්ලා සිටියේය. එදිනම දෙවැනි වරටත් ඇයට ඔහුගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබිණි. එවර ඔහු අභිනෙව් නමැති තවත් පුද්ගලයකු දුරකතනයට සම්බන්ධ කරගත්තේ එම පුද්ගලයා ඔහුගේ සහාය ලේකම්වරයකු ලෙස හඟවමිනි. පසුව විමර්ශකයන් අනාවරණය කරගත්තේ එම දුරකතන අංකය අගමැති කාර්යාලයේ උපදේශකවරයකු වන පී.කේ. මිෂ්රාට අයත් එකක් බවය.

ඒ වනවිටත් සිය සැමියා වෙනුවෙන් යම්කිසි සහායක් අවශ්‍යදැයි විමසා රජයට සම්බන්ධ නිලධාරින් රැසකගෙන් දුරකතන ඇමතුම් ලැබී තිබූ බැවින් අදිති සිංට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති නොවීය. අනතුරුව එළැඹියේ මුදල් ගනුදෙනු පිළිබඳ සාකච්ඡා වටයකි. මුලින්ම භාරතීය ජනතා පක්ෂයේ අරමුදලට කෝටි 20කින් දායක වන ලෙස අභිනෙව් ඇයට දන්වා සිටියේය. ඊළඟට වරින් වර මුදල් ප්‍රමාණය දෙගුණ තෙගුණ වූ අතර, පසුගිය වසරේ අගෝස්තුව වෙද්දී අදිති සිං ඇගේ බැංකු ගිණුම බිංදුවට වැටෙනතුරු රුපියල් කෝටි 200කට වඩා අභිනෙව්ට පූජා කර තිබිණි. ඇතැම් අවස්ථාවල ඩුබායි හෝ හොංකොං හි ඇතැම් ගිණුම්වලට බැර කිරීමට ද ඔහු ඇයට උපදෙස් සපයා තිබිණි. මාස ගණනක් ගත වෙද්දී වැඩේ දුරට අතට හැරුණු අතර, ඇය ඔහුගේ දුරකතන ඇමතුම් මඟ හරිද්දී අභිනෙව් ඇගේ පවුලේ සාමාජිකයන්ට පවා ඇමතුම් දීමට පටන් ගත්තේය. එතරම් විශාල මුදල් ප්‍රමාණයක් වැය කළ ද, ඇගේ සැමියා නිදහස් කරගැනීමේ වැඩකටයුතු කිසිවක්ම සිදු නොවීම නිසා තමා කප්පම් ජාවාරමක පැටලී ඇති බව ඇයට පැහැදිලි විය. දැඩි මානසික ව්‍යාකූලත්වයකට ඇද වැටුණු අදිති සිං අවසානයේ දිල්ලි පොලිසියට පැමිණිලි කළාය. අනූප් කුමාර් සහ අභිනෙව් නමින් පෙනී සිටිමින් අදිති සිංගෙන් මුදල් ලබා ගත් මේ කප්පම්කරු ඒ වනවිටත් තිහාර් බන්ධනාගාරගතව සිටි සුකේෂ් චන්ද්‍රසේකර් බව දෙදිනක් ඇතුළත අනාවරණය කරගත් දිල්ලි පොලිසිය වඩාත් විමතියට පත් වූයේ විවිධ රටවල දුරකතන අංක නිර්මාණය කිරීමේ හැකියාව ඇති Hushed නමින් හඳුන්වන මෘදුකාංගයක් හරහා මේ ජාවාරම සිදු කර ඇති බව අනාවරණය වීමෙනි. ඕනෑම රටක කේතයක් භාවිත කරමින් ඕනෑම අයකුට දුරකතන ඇමතුමක් දීමේ හැකියාව ඇති මේ මෘදුකාංගය හරහා සුකේෂ් චන්ද්‍රසේකර් අදිතිට දුරකතන ඇමතුම් දී ඇත්තේ ඇගේ සැමියා සිරගතව සිටින බන්ධනාගාරයේදීම බව හෙළිදරවු වීමත් සමඟ ඔහු ‍ෙකාතරම් භයානක අපරාධකරුවකුදැයි පොලිසියට අවබෝධ විය.

එපමණක් නොව ඔහු තිහාර් බන්ධනාගාරයේ සුපිරි ජීවිතයක් ගත කරමින් සිටි බවත්, ඔහුට බන්ධනාගාරයේ නිලධාරීන්ගෙන් පූර්ණ සහාය ලැබී ඇති බවත් පොලීසිය තහවුරු කරගත්තේය. පොලිසිය තිගැස්මට ලක් කළ කාරණාව වූයේ ඔහු බන්ධනාගාර අධිකාරීවරයාගේ කුටිය ද භාවිත කර ඇති බව සිසීටීවී දර්ශනවලින් පෙන්නුම් කිරීම නිසාය. බන්ධනාගාර නිලධාරීන් ඔහුට අසාමාන්‍ය පහසුකම් සහිත විශේෂ කුටියක් සපයා තිබූ අතර, නවීන පන්නයේ අයිෆෝන් දුරකතන දෙකක් ද භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබූ බව හෙළි විය. ඔහු එම දුරකතන මඟින් ඇමැතුම් ලබාගැනීමට සීසීටීවී කැමරාවලට හසු නොවන පරිදි ඔහුගේ ඇඳ, තිර රෙදිවලින් ආවරණය කර තිබේ. මේ සියලු පහසුකම් සඳහා ඔහුට ‍ෙජ්ලර්වරුන්ගේ උපරිම සහයෝගය ලැබී ඇති අතර, ඒ සඳහා ඔහු බන්ධනාගාරයේ කාර්ය මණ්ඩලයට සෑම මාසයකදීම රුපියල් කෝටියක් කිසිදු ලෝබකමකින් තොරව වීසි කළේය. නිලධාරීන්ට පමණක් නොව සෙසු රැඳවියන්ට ද ඔහුගෙන් නොයෙක් වරප්‍රසාද ලැබී තිබූ අතර, ඉඳහිට සියලුදෙනාටම ඔහු ‘බිරියානි පාටි‘ ද දැමුවේය. බන්ධනාගාරයේ සිටියත් ඔහුට නිළියන්ට අමතරව රූමත් නිරූපිකාවන්ගෙන් ද අඩුවක් නොවීය. ඒ අතින් බැලූ විට ඔහුට තිහාර් බන්ධනාගාරය තනිකරම අන්තඃපුරයකි. රූපවාහිනි, ශීතකරණ, සෝෆා ඇතුළු නිවෙසකට අවශ්‍ය සියලු ගෘහභාණ්ඩ ඔහුගේ සිර කුටියේ තිබී ඇත. එය සැබැවින්ම රැඳවියන් කිහිපදෙනකු රඳවා තබන විශාල කුටියක් බවත් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

විසිට් එකට බොලිවුඩ් නිළියන්, බොලිවුඩ් නිළියන් වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කළ සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටි කාලයේදී ඔහු හමුවීමට සුරූපි නිළියන් 12කට වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇති බවට ද කරුණු අනාවරණය වී තිබේ. ඒ සියලුම නිළියන් ඔහුගෙන් නොයෙකුත් වරප්‍රසාද ලැබූ අය බවට විමර්ශකයෝ සැක කරති. ජැකලින් ෆර්ඩිනැන්ඩස් සහ මෑතකදී ප්‍රශ්න කිරීමට ලක් වූ නෝරා ෆටේහි ඒ අතුරින් සුකේෂ්ගේ වැඩිම ආදරය දිනූ නිළියන් දෙදෙනා බවත් විමර්ශන වාර්තාවල සඳහන් වේ. ඔහු ජැකලින් වෙනුවෙන් දුර ගමන් යෑම සඳහා පෞද්ගලික ගුවන් යානා පහසුකම් පවා සලසා දී තිබූ බවත් කියැවේ. වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ බව කීවද සුකේෂ්ට විවිධ භාෂා අටක් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇත. සිත්ඇදගන්නා සුළු පෞරුෂයකට ද හිමිකම් කියයි. එය ඔහුගේ මූල්‍ය වංචාවලට ආශිර්වාදයක් වී ඇත. විමර්ශකයන් කියන්නේ මේ විස්මිත මිනිසාට ඕනෑම පුද්ගලයකු රවටා මුදල් ගැරීමේ හැකියාවත්, ඕනෑම සුරූපි කාන්තාවක් රවටා ඔවුන් සමඟ යහන්ගත වීමේ හැකියාවත් පුදුමාකාර ලෙස පිහිටා ඇති බවය. ඕනෑම පුද්ගලයකු ඔහු පළමුවරට මුණ ගැසෙන්නේ නම් ඔහුගේ උපදෙස් පිළිපදින තත්ත්වයට ඇද වැටීමට මිනිත්තු 30ක් හොඳටෝම ප්‍රමාණවත් බවය.