Online News

Gossip Lanka News Official

අපි ප්‍රවීණයි, අත්දැකීම් බහුලයි කියලා නවකයන් ඉදිරිපිට කැපීපෙනෙන්න යන්න නරකයි.

ලංකාවේ ලොකුම කලා පවුලක පුරුකක් ලෙස කුසුම් පෙරේරා හඳුන්වා දෙන්න පුළුවන්. ඇය විජය _ මාලනි ඇතුළු ක්ෂේත්‍රයේ දැවැන්තයන් සමඟ කටයුතු කිරීමට තරම් වාසනාවන්ත වුණා. ඇගේ ප්‍රථම සිනමාපටය වන්නේ “සංගීතාය’ සිනමාවෙන් පසු වේදිකාවටත් ටෙලිනාට්‍යය කලාවටත් ප්‍රවේශ වුණු කුසුම් පෙරේරා අත්දැකීම් රාශියකින් සුපෝෂණය වූ රංගන ශිල්පිනියක්. විදුර, සිවම්මා ධනපාල, වෙස්සන්තර ආදී වේදිකා නාට්‍ය රැසකම ඇයගේ රංගන කෞෂල්‍යය විදහා දැක්වූවා. අප මෙවර හදගැස්මට කුසුම් පෙරේරාව සම්බන්ධ කරගන්නේ ඇගේ නවතම විස්තර දැනගැනීමටයි. මේ ඇය සමඟ පැවැත් වූ සාකච්ඡාවයි. කොහොමද මේ දිනවල වැඩකටයුතු සිද්ධ වෙන්නේ? මේ දිනවලදී වැඩ කිහිපයකටම සහභාගි වී සිටිනවා. දිනේෂ් හග්ගල්ලගේ මහතාගේ ටෙලි නාට්‍යයක් සුපුන් රත්නායක මහතාගේ සහ රනිල් කුලසිංහ මහතා යන අධ්‍යක්ෂවරුන් යටතේ තමයි එම නාට්‍යවල වැඩ සිද්ධ වෙන්නේ.

රංගන ක්ෂේත්‍රයට අඩිතාලම වැටුණේ කොහොමද? මගේ ආච්චි, සීයා, මව සහ පවුලේ ගොඩක් අය කලාවට සම්බන්ධයි. ඇත්තටම මම ලංකාවේ ලොකුම කලා පවුලට සම්බන්ධ කෙනෙක්. ඉතින් මට ඒ පසුබිමත් තිබුණා. මගේ ප්‍රථම නිර්මාණය 1974දී නිකුත් වූ “සංගීතා” චිත්‍රපටය.  ඒ චිත්‍රපටයේ මම කුඩා දැරියකගේ චරිතයකට තමයි පණ දුන්නේ. ඉන්පසුව මම වේදිකාවට සම්බන්ධ වුණා. ඒ විධියට තමයි රංගන ගමන ආරම්භ වුණේ. වේදිකාවේ එදා සහ අද තත්ත්වය ඔබ දකින්නේ කොහොමද? මම වේදිකාවට ප්‍රවේශ වුණු කාලය වනවිට වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණා. ඉතින් නාට්‍යය ශාලා පිරෙන්න ප්‍රේක්ෂකයෝ සිටියා. විශේෂයෙන් කොළඹින් පිට පළාත්වල මේ ඉල්ලුම වැඩි වශයෙන් තිබුණා. කොළඹ තත්ත්වය ඊට මඳක් වෙනස්. මම ඒකට හේතුව නම් දන්නේ නැහැ. නමුත් කොළඹ නාට්‍යය සඳහා තිබුණේ අඩු ඉල්ලුමක්.

ලංකාවේ තිබෙන දුවන නාට්‍යය කලාව ගැන ඔබේ අදහස කුමක්ද? මෙහෙමයි. ලංකාවේ දුරබැහැර ප්‍රදේශවල මිනිසුන්ට කොළඹට ඇවිත් නාට්‍යය නරඹන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි ඒ පළාත්වලට ගිහින් නාට්‍ය ප්‍රදර්ශනය කරන එක හොඳයි කියලා මම සිතනවා. වේදිකා නාට්‍යවල ගුණාත්මකභාවය සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද? වේදිකා නාට්‍යවල ගුණාත්මකභාවය සහ රසවින්දනය තිබුණේ නැත්නම් ප්‍රේක්ෂකයාට නින්ද යනවා. මම ඒක පෞද්ගලිකව අත්දැකපු අවස්ථා තිබෙනවා. මීට අවුරුදු තුනකට පමණ පෙර මම ගියා එක්තරා වේදිකා නාට්‍යයක් නරඹන්න. මගේ පරම්පරාවෙම සිටින්නනේ කලාකරුවොයි. ඉතින් මටත් ඒ නාට්‍ය නරඹනවිට නින්ද ගියා. මම විශ්වාස කරන ආකාරයට වේදිකාව තුළ හාස්‍යය සහ ගැටුම අනිවාර්යයෙන් තිබෙන්නට ඕනෑ. අතීතයේ නිර්මාණය වුණු වේදිකා නාට්‍ය කෙතරම් පරණ වුණත් වේදිකා නාට්‍යයක තිබිය යුතු ගුණාත්මකභාවය සහ රසවින්දනය ඒවායේ තිබුණා. ඒ නිසා අපි ඒවා ආසාවෙන් රසවින්දා. ප්‍රේක්ෂකයෙක් වේදිකා නාට්‍යයක් නරඹන්නේ ප්‍රශ්නවලින් මිදිලා ඔවුන්ගේ මානසික පීඩනය අවම කරගන්නයි. ඒ නිසා අපි ඔවුන් ගැන අනිවාර්යයෙන් සිතන්නට  ඕනෑ.

වේදිකා නාට්‍යවල ඒ ගුණාත්මකභාවය අඩුවීමට හේතුවක් ඔබ දකිනවාද? ඇතැම් නිර්මාණවල අනවශ්‍ය පල්හෑලි වැඩියි. එමඟින් නාට්‍යයේ තිබෙන නාට්‍යානුසාරය අඩුවෙනවා. එක් අවස්ථාවකදී මම ඒ ගැන කිව්වා. “මල්ලි මේ කොටස දිග වැඩියි නේද” කියලා. නමුත් ඔවුන් කිව්වේ පිටපත් රචකයා ඒ කොටස ඉවත් කරනවට කැමැති නැහැ කියලා. ඇත්තටම මම එදා තමයි ඒ බවක් දැනගත්තේ. තවත් එක් අවස්ථාවකදී මම රංගනයේ යෙදෙන අතරතුර අනවශ්‍ය පිටු තුනක් විතර අත්හැරලා රංගනය කළා. නමුත් එමඟින් නාට්‍යයට නම් කිසිම හානියක් සිදුවුණේ නැහැ. ඇතැම් අය පවසනවා නිර්මාණ රසවිඳින්න ප්‍රේක්ෂකයන් පැමිණෙන්නේ නැහැ කියලා. මේ තත්ත්වයට නිර්මාණයේ රසවින්දනය සහ ගුණාත්මකභාවය බලපානවා නේද? ඔව්. අනිවාර්යයෙන්ම පළමුවතාවට නිර්මාණයක් රසවිඳින්න පැමිණෙන කෙනකුට නැවතත් නාට්‍යයක් නරඹන්න ආසා සිතෙන විධියට නාට්‍යයක් කරන්නට ඕනි. මමත් ඉදිරියේදී නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහිදී මම හොඳම නිර්මාණාත්මක නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රවීණයෙක් විධියට නවකයන් සමඟ කටයුතු කරන අත්දැකීම කොහොමද? අපි ප්‍රවීණයි, අත්දැකීම් බහුලයි කියලා නවකයන් ඉදිරිපිට කැපීපෙනෙන්න යන්න නරකයි. දැන් සිටින නවකයන් නම් මට මගේ දරුවෝ වගේ. ඉතින් මම ඔවුන් සමඟ ඉතාමත් සුහදව කටයුතු කරගෙන යනවා. නවකයන්ගේ විනය සම්බන්ධව ඇතැමුන් නඟන චෝදනාව ඔබ බැහැර කරනවාද? විනය සම්බන්ධව නම් පොඩි ගැටලුවක් තිබෙනවා. ඇතැම් වෙලාවට වාහනයේ ගොස් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට කාලය මිඩංගු කිරීමට  අපට සිදුවෙනවා. මට නම් පෞද්ගලිකව වැඩක් තිබුණෙත් ඊට පෙර දවසේ රෑ හරියට නින්ද යන්නෙත් නැහැ. එක අවස්ථාවකදී පමණයි මම ඒ විධියට පමා වුණේ. මම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා සහ ඒ ගැන ලැජ්ඡාවටත් පත්වුණා.

විදේශීය ටෙලිනාට්‍යය විකාශය කිරීමෙන් දේශීය නිර්මාණවලට යම් අසාධාරණයන් සිද්ධ වෙනවා නේද? මෙහෙමයි, හොඳ නිර්මාණයක් නම් එය ඕනෑම කෙනෙක් ආදරයෙන් භාර ගන්නවා. ඒකට දේශීය ද විදේශීය ද කියන එක අදාළ නැහැ. අපේ රටේ නිර්මාණකරුවන්ද නිර්මාණයන් සිදුකිරීමට බොහෝ වෙහෙස වෙනවා. නමුත් නාට්‍යය දිගින් දිගටම ඇදගෙන ගියහම කුමන නාට්‍යයක් වුණත් සාර්ථක වෙන්නේ නැහැ. රංගනය වෘත්තීයමය වශයෙන් තෝරාගැනීම ගැන අදහසක් දැක්වුවහොත්? රංගනය වෘත්තීයමය වශයෙන් සිදුකිරීම ගැන නම් පුංචි ගැටලුවක් තිබෙනවා. මම මේ බව අපේ තරුණ පිරිමි දරුවන්ට නම් නිතරම වගේ පවසනවා. රංගනයට අමතරව කුමක් හෝ ආදායම් මාර්ගයක් ගැනත් සිතුව නම් හොඳයි කියලා තමයි මම සිතන්නේ.

රට තුළ මේ වනවිට තිබෙන තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද? ඇත්තටම අපේ රටේ මිනිස්සු පව්. ඒ අය ගොඩක් අපහසුවෙන් තමයි සිටින්නේ. මම ප්‍රාර්ථනා කරන්නේ මේ හැම කරදරයක්ම අඩුවෙලා රට යහපත් වෙන්න කියලයි. අනාගත බලාපොරොත්තු මොනවාද? මම පින් අතේ වැඩ කිරීමට තමයි ගොඩක් කාලයක් වැය කරන්නේ. මගේ කලා සංසදයකුත් තිබෙනවා. එයින් සිද්ධ කරන්නෙත් ගොඩක් මිනිසුන්ට උදවු උපකාර කිරීමයි. දුමිඳු ලංකා බණ්ඩාරහදගැස්ම අතිරේකයෙන්