Online News

Gossip Lanka News Official

තොල් පාට කරන හිටියත් සමහර ඇය පද හදනවා. අකමැති දේ නොකර ඉන්න. අකමැති මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න.

විද්‍යා බාලන් රඟපාන හින්දි චිත්‍රපටයක් තියෙනවා ‘තුමාරි සුලූ’ කියලා. සුලූ කියන්නේ ගුවන්විදුලි නිවේදිකාවක්. දවසක් අන්ධ සීයා කෙනෙක්ගෙන් සුලූට දුරකතන ඇමතුමක් එනවා. තමන් දවස ගෙවා දාන්න කරන එකම වැඩේ සුලූගේ වැඩසටහන අහන එක කියලා ඔහු හරි සංවේදීව සුලූට කියනවා. වචනයක් දෙකක් කතා කරන්න කෙනෙක් නැතිව, කාලය ගෙවා ගන්න විදියක් නැතිව තනිකමෙන් පාළුවෙන් ඉන්න මිනිස්සුන්ගේ හිත් නිවන්න ගුවන්විදුලි නිවේදකයෙකුට තරම් කාටවත් බෑ කියලා මම තේරුම්ගත්තේ මේ චිත්‍රපටයෙන්. අද ‘ධරණී’ කවරය සරසන්නෙත් ගුවන්විදුලි නිවේදිකාවක් විදියට ගමන පටන් අරන් ක්ෂේත්‍ර කිහිපයකම සාර්ථක වෙච්චි සුන්දර තරුණියක්. ඇය අමායා රාජනායක. ගුවන්විදුලි ජීවිතේ අමතක නොවන සිදුවීමක් ගැන ඇහුවම ඇය දීපු උත්තරේ නිසයි මට අර විද්‍යාගේ චිත්‍රපටය මතක් වුණේ.

“වැඩිහිටි නිවාසෙක ජීවත්වෙන සීයා කෙනෙක් දවසක් මට කොල් කළා. නිවාසෙට ආපු තරුණ ළමයෙක්ට කියලා අපේ එෆ්.එම්. එකේ නම්බර් එක හොයාගෙනලු කතා කළේ. ඒ සීයා පුංචි රේඩියෝ එකක් තියාගෙන මම කරන වැඩසටහන් අහනවලු. ඔහුගේ ජීවිතේ එකම බලාපොරොත්තුව මගේ වැඩසටහන අහන එක කියලා ඒ සීයා කිව්වා. අපි කියන එක වචනයක් තව කෙනෙක්ට කොච්චර වටිනවද කියලා එදා තමයි මම තේරුම්ගත්තේ.” අපේ මේ කතාබහ සිද්ධවුණේ දුරකතනයෙන් වුණාට ඇය ඔය කතාව කිව්වේ බොහොම සංවේදීව බවට, අමායාගේ සුසුම් හඬ සාක්ෂි දුන්නා. “ගුවන්විදුලි නිවේදිකාවක් විදියට වැඩ කරන එක මොනවගේ අත්දැකීමක්ද?” ඒ මම ඇයට යොමුකළ ඊළඟ ප්‍රශ්නය.

“ඒක බොහොම අපූරු අත්දැකීමක්. හැබැයි ඒ වගේම අභියෝගත් වැඩියි. රූපවාහිනි නිවේදන කටයුතුවලදී අපිට මුළු ටීම් එකේම සහාය ලැබෙනවා. හැබැයි ගුවන්විදුලි වැඩසටහනකදී කාලයත් කළමනාකරණය කරගෙන හැමදේම තනියම කරගන්න ඕනේ. සමහර වෙලාවට කන්න බොන්න එහෙමවත් වෙලාවක් නෑ. එහෙම වෙලාවට අපි කරන්නේ ටිකක් දිග හින්දි සිංදුවක් ප්ලේ කරලා දුවලා ගිහිල්ලා කාලා එන එක.” කතාව පටන්ගත්තේ ගුවන්විදුලියෙන් නිසා ආයෙමත් අමායගේ කතාවේ මුලට යන්න හිතුවා. “මගේ ගම බණ්ඩාරවෙල. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු. උසස් පෙළින් පස්සේ ටික කාලයක් පෞද්ගලික පාසලක ගුරුවරියක් විදියට වැඩ කළා. මම උගන්වනකොට ‘ටීචර්ගේ කටහඬ හරි ලස්සනයි’ කියලා පුංචි දරුවෝ කියනවා. මගේ හඬ ගුවන්විදුලියට ගැලපෙනවා කියලා ඊට කලිනුත් ගොඩක් අය කියලා තියෙනවා. ඉතින් සතිඅන්තයේ කරන්න වැඩකුත් නොතිබුණු නිසා මම හරේන්ද්‍ර ජයලාල් අයියගේ හඬ පුහුණු පාසලට ගියා. එතැනදි මට ලංකාවේ ප්‍රසිද්ධ එෆ්.එම්. නාළිකාවකට එකතු වෙන්න අවස්ථාව ලැබුණා.” 2015 වසරෙ ඉඳලා මේ දක්වා ඇය ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කිහිපයකින්ම ගුවන්විදුලි නිවේදිකාවක් විදියට අත්දැකීම් ලබාගෙන තියෙනවා.

“ඔය අතරේ හඬකැවීමේ ශිල්පිනියක් විදියට වැඩ කරන්නත් අවස්ථා ලැබුණා. ගොඩක්ම හඬකැවීම් කළේ රූපවාහිනි දැන්වීම්වලට. රේඩියෝ එකේ අපේ හඬ එක පිරිසකට විතරක් සීමා වෙනවා. හැබැයි හඬකැවීම් ශිල්පිනියක් වුණහම අපේ හඬ රටේතොටේ හැමෝටම වගේ අහන්න ලැබෙනවා.” මේ වෙනකොට ඇය රූපවාහිනී නිවේදිකාවක් විදියට කටයුතු කරන බවත් කියන්න ඕනේ. “නිදහස් රූපවාහිනී නිවේදිකාවක් විදියට වැඩ කරන්න අරන් දැන් අවුරුදු දෙකයි. මුල්ම වැඩසටහන කරද්දි හිතට දැනුණු තිගැස්ම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි වැඩසටහනට ආරාධනා කරන අමුත්තන්ට එන්න වෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වෙලාවට ඉතින් අලුත් කෙනෙක් එක්ක කතා කරන්න විනාඩි පහකින් විතර සූදානම් වෙන්න ඕනේ. රූපවාහිනී නිවේදනය කියන්නෙත් හැම දවසකම අලුත් අභියෝග එක්ක ඉස්සරහට යන්න පුළුවන් සුන්දර ක්ෂෙත්‍රයක්.” රූපවාහිනි නිවේදනය ගැන ඇය අත්දැකීම් බෙදාගත්තේ එහෙම. ටික කාලයකට ගුවන්විදුලි ක්ෂේත්‍රයට සමුදීපු ඇය දැන් ගමන් කරන්නේ වෙනත්ම ගමන්මගක. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන කතාව ඇයට නම් වලංගු නැති බව හිතන ගමන් ඇගේ අලුත් ගමන ගැනත් මම අහලා බැලුවා.

“ගුවන්විදුලි නිවේදිකාවක් විදියට වැඩ කරද්දි මම ඩිජිටල් මාධ්‍ය ප්‍රවර්ධනය ගැනත් ඉගෙනගත්තා. ඒ ගැන අත්දැකීම් ලබාගත්තාට පස්සේ මම ‘ට්‍රයඩ්’ ආයතනයේ Kites Global එක්ක සම්බන්ධ වුණා. ඉතින් මෙතැනින් මට ගන්න තියෙන අත්දැකීම් එක්ක ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.” අද අමායා ක්ෂේත්‍ර කිහිපයකම කැපී පෙනෙන සාර්ථක කාන්තාවක්. හැබැයි කාන්තාවක් විදියට ගමනක් යද්දි පිරිමියෙක්ට වඩා ගිරිදුර්ග මුණගැහෙන බවයි ඇය කිව්වේ. “රස්සාවක් කරද්දි පිරිමියෙක්ට හිතන්න තියෙන්නේ වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න හැටි විතරයි. හැබැයි කාන්තාවකට එහෙම බැහැ. අඳින පළඳින විදිය, කතාබහ කරන හැටි, හිනාවෙන හැටිත් හිතන්න ඕනේ. රතු පාට ලිප්ස්ටික් ටිකක් ගෑවත් ඇති ගෑනියෙක්ට පදයක් හැදෙන්න. ගොඩක් රස්සා ඇතුළේ ඔය පීඩනේ තියෙනවා. ඒක මටත් දැනිලා තියෙනවා. අනික තමන්ට නොලැබුණු දෙයක් වෙන කෙනෙක්ට ලැබෙනවට අපේ සමාජයේ මිනිස්සු කැමති නැහැ. එතකොට ඉතින් වචනෙකින් හරි හිත බිඳින්න බලනවා. එහෙම හිත් රිදීම් නම් මටත් ඕනතරම් වෙලා තියෙනවා.” හිත් රිදීම්වලට නොවැටී ඉන්නත් දාහකුත් එකක් වැඩ කටයුතු හරියට කරගන්නත් ඇයට හයියක් වෙන ඇගේ පවුල ගැන ඇගෙන් නාහන එක අඩුවක්.

“මම විවාහකයි. සැමියා දුලීක කෝදාගොඩ. කෙටියෙන්ම කිව්වොත් ඔහු තමයි මගේ හයිය. සැමියාගෙන් කිසිම සහයෝගයක් නැහැ කියලා දුක්වෙන කාන්තාවන් ඉන්නවා. කිසිම කෙනෙක් සැමියව පාරේ ඉඳලා ඇහිඳගන්නේ නැහැ. තමන්ගේ ගමනට හයියක් වෙන මනුස්සයෙක් හොයාගන්න කාන්තාවක් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ නිසා ඒ වගකීම තමන්ටම ගන්න වෙනවා කියලයි මම හිතන්නේ.” අපේ කතාබහේ අවසානය සනිටුහන් කරන්න පෙරාතුව ‘ධරණී’ කියවන ඔබ වෙනුවෙන් වචනයක් කියන්න ඇය අමතක කළේ නැහැ. “ගෙදර වැඩක් කළත් ඔෆිස් එකේ වැඩක් කළත් මම නම් ඒක හරිම ආසාවෙන් කරනවා. මොකද අකමැත්තෙන් දෙයක් කළොත් හිතට පීඩනයක් දැනෙනවා. ඒ නිසා හැමදේම ආසාවෙන් කැපවීමෙන් කරන්න බලන්න. අකමැති දේ නොකර ඉන්න. අකමැති මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න. අනිත් අයට ආදරේ කරන්න කලින් තමන්ට ආදරේ කරන්න. අපි ජීවත්වෙන්නේ බොහොම ටික කාලයයිනේ. ඔය ටික කාලේ සතුටින් සමාදානෙන් ජීවත්වෙන්න කියලයි මට අනිත් අයටත් කියන්න ඕනේ.” (සෙව්වන්දි හෙට්ටිආරච්චි – ධරණි පුවත්පත ඇසුරෙනි)