Online News

Gossip Lanka News Official

මට ගහන ගල් මල් කරගෙන ජීවත් වෙන කෙනෙක්. රිදෙන්න රිදෙන්න ජීවිතේ තවත් ශක්තිමත් වෙනවා මගේ

ගායකයෙක් විදියට බොහෝ රසික පිරිසක් ආදරය කරපු ගායන තරුවක් වන දිනේෂ් තරංග අද වන විට නළුවෙක් වෙලා. මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් රංගනයේ යෙදෙන ඔහු ගැන කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් කෙරෙනවා. ගායකයෙක් විදියට ක්ෂේත්‍රයට ආපු දිනේෂ් තරංග අද නළුවෙක් වෙලා නේද? ඔව්, ඇත්තටම මේ මගේ ජීවිතේ සැබෑ වුණු සිහිනයක්. මොකද මගේ ලොකු කැමැත්තක් තිබුණා පුංචි තිරයට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම ලබාගන්න. ඉතින් ඒ අත්දැකීම මට මුලින්ම ලබාගන්න හැකි වුණා ‘‘කකුලුවෝ සහ මකුලුවෝ’’ කියන නාට්‍ය නිර්මාණයට සම්බන්ධ වෙලා. නමුත් එහි මට රංගන කුසලතාවයන් පෙන්නන්න ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. එතැනින් පසුව තමයි මට අලුත්ම නිර්මාණ කටයුත්තකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ‘‘විසේකාර හාදුවක්’’ කියන අලුත්ම ටෙලි නිර්මාණයට. මෙහි නිෂ්පාදකවරයා ගීතාන්ජන ඩි සිල්වා තමයි මට ආරාධනා කරන්නේ මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න. ඔහු මේ නාට්‍යය ගැනත් චරිතය ගැනත් මට කිව්වාම හරිම කැමැත්තෙන් මම ඒ චරිතය භාරගත්තේ. මේ නිර්මාණයේ මම රංගනයෙන් වගේම තේමා ගීතය ගායනයෙන් ද සම්බන්ධ වෙනවා. ඒ තේමා ගීතය කළෙත් මම ‘‘හැඟෙන් නැති ආදරේ’’ නමින්. සහ ‘‘විසේකාර හාදුවක්’’ ටැග් ලයින් එකත් නිර්මාණය කළේ මම. මේ නිර්මාණයත් එක්ක මට අද වෙද්දි ලොකු ප්‍රතිචාරයක් ලබාගන්න හැකි වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ මෙහි අධ්‍යක්ෂ සුරේන් රාජපක්ෂ මහත්මයාට සහ නිෂ්පාදක ගීතාන්ජන ඩි සිල්වා මහතාට.

ඉතින් චරිතයෙ විස්තර ගැනත් කියමු? මගේ චරිතය ඩිවෝන්, ආදරවන්තයෙක්ගේ භූමිකාවක් තමයි තියෙන්නේ. ඒ නිර්මාණය තුළ මාව ආමන්ත්‍රණය කරන්නේ ‘‘ඩී’’ නමින්. සියත නාළිකාව ඔස්සේ සතියේ දවස් පහේම රාත්‍රී ට ‘‘විසේකාර හාදුවක්’’ තුළින් මාව බලාගන්න පුළුවන්. මේ අලුත් අත්දැකීම ගැනත් කියන්න දේවල් ඇති? අලුත් අත්දැකීම ඇත්තටම ලොකු වෙනසක්. කොහොමත් මම ගායකයෙක් විදියට මගේ මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වුණානේ, නමුත් ඒ නිරූපණයන් පමණයි. ඊට හාත්පසින්ම වෙනස් ටෙලි නිර්මාණ රංගනය. ඒ තුළ දෙබස් උච්චාරණය, යන – එන විදිය, කතාබහ හැමදේම වෙනස්. ඒ දේවල් තාත්ත්වික වෙන්න ඕනෑ. ඉතින් ලොකු අභියෝගයක් වුණා ඒ රංගනය. නමුත් මේ වෙනුවෙන් ආරාධනා ලැබුණම මට භාරගන්න කිසිදු බයක්, චකිතයක් තිබුණේ නැහැ. ඒ අත්දැකීම ලබාගන්න මම ගොඩක් ආසාවෙන්නේ හිටියේ. විශේෂයෙන්ම කියන්න ඕනැ මේ නාට්‍යය ආරම්භය සිද්ධ වුණේ සටන් ජවනිකාවකින්. ඒ තුළ අපි හිතන් හිටියට රංගනයෙදි පොඩි සටනක් යන්නේ ලොකු දෙයක් නැහැ කියලා. එහි ඊට වඩා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ හැමදේම පුහුණුවීම් කළා සටන් අධ්‍යක්ෂවරයෙක් හරහා. අපි ඇත්තටම ගහගන්නවට වඩා රංගනයෙදි ගහගන්න එක ගොඩක් අමාරුයි. මොකද රංගනයෙදි තද පහරවල් වදින්නේ නැති වෙන්න දෙන්නත් ඕනැනේ. ඉතින් මම හිතනවා ඒ හැමදේම මට හොඳ සහ වෙනස්ම විදියේ අත්දැකීමක් වුණා.

ප්‍රේක්ෂකයෝ කොයි විදියට ද මේ රංගන අත්දැකීම භාරගෙන තියෙන්නේ? ඇත්තටම ඒ ගැන කියන්න සතුටුයි ඉතා හොඳ ප්‍රතිචාර මේ වෙද්දි ලැබෙනවා. මට කොහොමත් ගායකයෙක් විදියට 2009 වසරේ ඉඳන් ආදරය කරන පිරිසක් ඉන්නේ. මම ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ රියැලිටි තරගයක් හරහා. ඒ තුළින් මාව හඳුනාගෙන මට ආදරය කරපු ලොකු පිරිසක් මගේ වටා එකතු වුණා. එතැනින් පසුව මම එළිදැක්වූ ගීතයක් වන ‘‘මීවිත පිරුණා’’ හරහා ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලබාගන්නට හැකි වූණා. කොහොමත් ගායකයෙක් විදියට මට සමාජජාලා වෙබ් අඩවි ඔස්සේත් ඉතා හොඳ සතුටුදායක ප්‍රතිචාර ලැබෙනවා. ඒ දේවල් නිසාම මේ නාට්‍යයේ පොඩි පොඩි කොටස් කෑලි මුලින්ම විකාශය වෙද්දිත් මට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. හොඳට රඟපානවා. දක්ෂතා තියෙනවා ඉදිරියටම යන්න කියලා තමයි ගොඩක් දෙනෙක්ගේ ප්‍රතිචාරය වුණේ. මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගායකයා වසන්වෙලා නළුවා උඩට එයිද? අම්මෝ නැහැ. මගේ බිරිඳ කියන්නෙත් රංගනයට සම්බන්ධ වෙන්න ඒක ගැටලුවක් නැහැ. නමුත් ගීත ගායනය නවත්තන්න එපා කියලා. මොකද මම පළමුවෙන්ම රසික ආදරය දිනාගන්නේ ගායනයෙන් නිසා. ඉතින් සංගීතය මියෙන තුරාවට අත අරින්නේ නැහැ. ඒ වගේම රංගනයත් දිගටම කරගෙන යනවා.

ඉදිරියේදීත් තව නිර්මාණවලින් දකින්න ලැබෙයි ද? ඔව්, අනිවාර්යයෙන්ම, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ ඉදිරියෙදි විකාශය වෙන්න නියමිත නාට්‍යයක් තියෙනවා “The target” නමින්. එහි නිෂ්පාදනය නයන ප්‍රසන්න ජීවන්දර මහත්මයාගේ. ඒ වගේම අධ්‍යක්ෂණයෙන් බුද්ධික ගුණදාස සහ කුමාරසිරි අබේකෝන් යන මහත්වරු තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ නිර්මානයෙත් මම ප්‍රධාන චරිතයකින් වගේම සංගීත අධ්‍යක්ෂණයෙනුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ‘‘සදළු සේයා’’ නමින් අලුත් ටෙලි නිර්මාණයකිනුත් ඉදිරියේ දී දකින්න ලැබෙයි.

දිනේෂ්ගේ කලා හැකියාවන්වලට පාසල් වේදිකාවේ කොයි වගේ ඉඩක් ද වෙන් වෙලා තිබුණේ? ඇත්තම කියනවා නම් මම පොඩි කාලේ චිත්‍ර කලාව තමයි කළේ. මොකද මගෙ තාත්තා මූර්ති කැටයම් ශිල්පියෙක්. තාත්තාගේ ගම මොරටුව. ඉතින් තාත්තාගේ දක්ෂතා පොඩි කාලේ ඉඳන්ම දැකපු නිසා මමත් චිත්‍ර කලාවට තමයි මූලිකවම නැඹුරු වෙලා හිටියේ. නමුත් ඒ කාලේ තාත්තා මට එක්ස්රේ කාඩ් යොදාගෙන පුංචි ඩ්‍රම් සෙට් එකක් හදලා දීලා තිබුණා. ඒක මම පුංචි කාලේ ඉඳලම ප්ලේ කළා. ඒ දක්ෂතාවය මට කොහොමත් තිබුණා. කොහොමහරි මම සංගීතයට පසලේ දි යොමු වුණේ 1990 වසරෙදි වගේ, ඒ වෙනුවෙන් මාව සම්බන්ධ කරගත්තේ අනුරුද්ධිකා සහ මර්වින් යන ගුරුවරුන් දෙපළ. ඒ නැඹුරුවීමත් සමඟ මම චිත්‍රකලාවට තිත තියලා සංගීතය විෂයක් කරගත්තා. ඒ වගේම විනෝදනි ගුරුතුමිය යටතේ නර්ථනය ආරම්භ කළා. එහිදී නර්ථනය සමඟ බෙර වාදනය ආදිය ද කළා. ඒ ගුරු මහත්මීන්ගේ දිරි ගැන්වීම් යටතේ තමයි මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. එතැනින් පසුව මම සංගීතය දිගටම හැදෑරුවා. මගේ ඒ ගමන් මඟට තවත් ලොකු ශක්තියක් වුණේ එඩ්වඩ් ජයකොඩි ගුරු පියණන් සහ සමන්ත පෙරේරා ගුරු පියාණන්. ඒ වගේම මම ලසන්ත ප්‍රනාන්දු අයියා යටතේ අපරදිග සංගීතයත් ඉගෙනගත්තා. මට මේ ගමනට තවත් ලොකු ශක්තියක් වුණේ පල්ලියේ ගීතිකා කණ්ඩායම. මම එහි ගීතිකා ගායනා කළා. ඒ තුළිනුත් කටහඬ තවත් ලස්සන වෙන්න පටන් ගත්තා කිව්වොත් හරි.

දිනේෂ් තරංග සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්නවානේ. විශේෂයෙන් ඔබේ විවාහය ප්‍රශ්නයක් කරගෙන ඔබට ප්‍රතිචාර දක්වන ලොකු පිරිසක් දකින්න ඉන්නවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම ඒ ගැන විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ. මටත් වඩා මගේ විවාහය ප්‍රශ්නයක් කරගත්තු පිරිසක් ඉන්නවා. ඇත්තම කතාව මගේ බිරිඳ මට වඩා අවුරුදු 9ක් වයසින් වැඩියි. ඉතින් ඇය වැඩිමල් කියන දේ මට අදාළත්වයක් නැහැ. වයස කියන්නේ මම නම් දකින විදියට ඉලක්කමක් විතරයි. නමුත් ආදරය කියන්නේ ඕනෑම කෙනෙක්ට දැනෙන දෙයක්. ඒ දැනෙන දේ ආදරෙන් අපි ආරක්ෂා කරනවා නම් අපිව රැක බලාගන්නව නම් අපිට යන්න ඕනැ පාරවල් කියලා දෙනවා. ඉතින් මගේ බිරිඳට කවුරු මොනවා කිව්වත් මම ඒ කිසි දෙයක් හිතන්නේ නැහැ. හේතුව මම නම් මගේ බිරිඳට හැමදේම කරලා දෙන්නේ මගේ පවුල බලාගන්නේ ඒ වෙනුවෙන් කැප කිරීම් කරන්නේ මම නම් ඒ ගැන කවුරුත් ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැනේ. ඉතින් නින්දා අපහාස කොච්චර කළත් මට මගේ බිරිඳව කවදාවත් එපා වෙන්නේ නැහැ. ඇයව කවදාවත් නැති කරගන්නෙත් නැහැ. විශේෂයෙන් කියන්න ඕනැ ඒ අපහාස කරන අය, තවත් කෙනෙක්ගෙ අඩුපාඩු දකින අය ඇත්තටම ආදරය නොලබන පිරිස්, ඒ ජීවිත අබ්බගාත ජීවිත විදියට මම දකින්නේ. මම නම් එවැනි චරිතවලට අනුකම්පා කරනවා. ආදරය විඳින කෙනෙක් ආදරය ලබන කෙනෙක් කවදාවත් තවත් කෙනෙක්ට අපහාස කරන්නේ නැහැ. මම කොහොමත් මට ගහන ගල් මල් කරගෙන ජීවත් වෙන කෙනෙක්. රිදෙන්න රිදෙන්න ජීවිතේ තවත් ශක්තිමත් වෙනවා මගේ. (ධනු විජේරත්න)